Sunday, March 28, 2021

වෙරළ සහ වෙරළාශ්‍රිත පුරාවිද්‍යාව

 මෙම කෙටි රචනා මාලාවේ අපේක්ෂාව වෙරළ, වෙරළාශ්‍රිත භු රූපන සහ ඒ හා සම්බන්ධ පුරාවිද්‍යා ක්ෂේත්‍ර පිළිබද කෙටි සටහන් කිහිපයක් සකස් කිරීමයි.


හැදින්වීම

වෙරළ යනු අතිශය මනස්කාන්ත සහ ස්වභාවික සම්පත්වලින් අනූන කලාපයකි. ලෝකයේ ජනගහණයනේ සැලකිය යුතු ප්‍රමාණයක් වෙරළබඩ ජීවත්වන අතර ලොව මුල්ම නාගරික සමාජ ද වෙරළබඩ අර්ධශුෂ්ක ගංමුවදොර තැනිතලා ආශ්‍රි්තව බිහිවිය. ප්‍රවාහනය සහ සංචාරක කර්මාන්තය අතින් ද වෙරළට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. 

මුහුදත් ගොඩබිමත් එකට හමුවන ස්ථානය වෙරළ ලෙස සරලව හැදින්විය හැකිය. නමුත් වෙරළ ආශ්‍රිතව සිදුවන භූ රූප විද්‍යාත්මක වෙනස්කම් අතිශය සංකීර්ණ වන අතර එය හැදෑරීම කුතුහලය දනවයි. භෙෳතිකමය ලෙසින් ජලගතික සහ වායුගතික ක්‍රියාවලීන් ද ශාක සහ සත්ත්ව ජෛවීය ක්‍රියාවලීන් ද මෙම වෙනස්කම් කෙරෙහි බලපානු ලබයි. 

වෙරළ කලාපය

වෙරළ කලාපය මුහුද සහ ගොඩබිම අතර ඇති අතුුුරු මුහුණතකි. සැබැවින් ම වෙරළ යනු මායිම් රේඛාවයක් බදුවුව ද පුළුල් අර්ථයෙන් ජල රේඛාව තුළ ද එයින් ඉහළ ඇති වැලි කදු, වැටි, දඹ ආදිය ද අයත් වන්නකි. තව ද වෙරළ තීරයේ ක්‍රියාවලීන්ගේ බලපෑම සාමුද්‍රික පරිසරවලට මෙන් ම ගොඩබිම වෙත ද බලපෑමක් ඇති කරයි. නෛතික කටයුතු ආදිිය සදහා වෙරළ ඉම පිළිබද අදහසක් පවත්වාගැනීම අවශ්‍ය වුව ද එයට පැහැදිලි සීමාවක් නම් කිරීම අපහසු වේ. 

වෙරළාශ්‍රිත භූ රූපන අධ්‍යනයේදී එහි ඇති භූ ලක්ෂනවල හැඩය, තැන්පතු සහ තැන්පතු වීමේ ක්‍රියාවලීන් දෙස මූලික අවධානයක් යොමු කෙරේ. ගොඩබිම් ක්‍රියාවලීන් මගින් හැඩගස්වනු ලැබූ නොගැඹුරු වෙරළ ද වෙරළ ක්‍රියාකාරීත්වයෙන් හැඩගැස්වූ ගොඩබිම ද හැදෑරීම මෙනිසා අත්‍යවශ්‍ය වේ. මුහුදු මට්ටම්වල උච්ඡාවචනය හේතුවෙන් රට තුළ සකස්වී ඇති භූ ලක්ෂණ ද වෙරළ භූ රූපනවලට ම අයත් වන නිසා වෙරළ සිීමාව අදාල අධ්‍යනය අනුව වෙනස් වනු ඇත. එමෙන් ම රට සිදුවන වෙනස්කම් ද වෙරළ වෙත බලපායි. අස්වාන් වේල්ල නිර්මාණය කිරීම නිසා නයිල් නදියේ ගංමෝයේ තැන්පතවන දියළු ප්‍රමාණය අඩුවූ අතර එයින් වෙරළ ඛාදනය ඉහළ ගොස් ඇත. 


වෙරළාශ්‍රිත භූ රූපන

වෙරළාශ්‍රිත භූ රූපන සකස් වීමට ඒ සදහා පාදක වන ද්‍රව්‍යන්ගේ ස්වරූපය තීරණාත්මක සාධකය වේ. භූ රූපන ලක්ෂණ හැදෑරීම දික් සැලසුමක් හෙවත් වෙරළ තීරයේ සමාන්තරව ඇති ලක්ෂන සැලකීම මගින් හෝ වෙරළ ඡේදනය කරන පැතිකඩ සැලසුමක් මගින් හෝ සිදුකළ හැකි ය. දික් සැලසුමකදී භූ ලක්ෂණ, පාෂාණ ලක්ෂණ, අවසාදිත සහ වෙරළ ඛාදනයට ඇති ප්‍රතිරෝධය දැක්විය හැකි ය. උදම් රළ සීමාව ආදිය ද මෙහිදී දැක්විය හැකි ය. 

වෙරළ පැතිකඩදී භූ රූපන ලක්ෂණ අනුව කලාප බෙදීමට ද එක් එක් කලාපයේ ක්‍රියාවළීන් දැක්වීමට ද පහසු ය. මෙම ක්‍රියාවලීන් හැදින්වීමට එක් එක් විෂයයන්ගේ වෙනස් යෙදුම් භාවිත වනු ඇත. පෑල වෙරළත (backshore) යනු ජල බිදෙන මායිමෙන් ඔබ්බෙහි කලාපයයි. වෙරළාසන්නය (nearshore) යන්නට මුහුදු පතුලේ රළ බිදෙන ඉදිරි වෙරළ කලාපය අයත් වන අතර එයට රළ බිදෙන foreshore සහ onshore යන කලාප අයත් වේ.  ගැඹුරු මුහුද (offshore) ලෙසින් හැදින්වේ. උදම් රළ  බිදෙන ඉම beachface නම් වේ. 

වෙරළාශ්‍රිත අවසාදිත තැන්තපතුවල ස්වරූපය රල සහ දියවැල්වල ක්‍රියාකාරීත්වයෙන් නිතරම වෙනස් වේ. වර්තමාන සහ අතීත වෙනස්කම් අධ්‍යයන කල යුතුවන අතර ඒ සදහා වර්තමානයේ සිදුවන ක්‍රියාවලීන් හැදෑරීම, පැරණි සිතියම් සහ ගුවන් ඡායාරූප හැදෑරීම, ඛාදනය වන ලක්ෂණ සහ තැන්පතු අනුපිළිවෙල උපකල්පනය මේ සදහා උපයෝගී වේ. 

එකිනෙකට වෙනස් ස්ථාන නිරික්ෂණයෙන් වෙරළාශ්‍රිත භූ රූපනවල විවිධකාලවල සිදුවූ වෙනස්කම් අවබෝධ කරගත හැකිය. අවසාදිත තැන්පපතු විදීමෙන් ලබාගන්නා නියැදිවලින් එහි ස්ථරායනය (Stratigraphy) හදුනාගත හැකි අතර සමහර අවස්ථාවලදී එම ස්තරායනය සමගම මතුපිටින් නිරීක්ෂණය කල හැකි යම් භූ ලක්ෂණයක් හැදීරීම (Morphostratigraphy) ද සිදුකල හැකි ය. 

වෙරළ විකාශනය (coastal evolution) හැදෑරීම යනු වෙරළතීරයේ ලක්ෂණ සහ ස්ථානගතවීම් වෙනස් වූ ආකාරයත් වෙනස්වීමට බලපෑ කරුණුත් හැදෑරීමයි. පැරණි වෙරළතීර ප්‍රතිනිර්මාණය කිරීම පුරාවිද්‍යාවට ද අතිශය වැදගත් වේ. මෙය ත්‍රිමානකරණය කිරීමට අවසාදිත ඒකක (sedimentary facies) සහ ජෛව අවශේෂ මගින් පුරාපාරිසරික තත්ත්වයන් ද (paleoecological habitats) හැදෑරීම මගින් කළ හැකි ය.


වෙරළ භූ රූප ගතිකතාවය

coastal morphodynamics 

සමුද්‍රීය සහ දේශගුණික ක්‍රියාවලින් ආදිය නිසා ලෝකයේ වෙරළ තීර නිරන්තරව වෙනස්වන ආකාරය වටහා ගැනීමට වෙරළ භූ රූප ගතිකතාවය හැදෑරීම වැදගත් වේ. මෙය සිදුවන ආකාරය ක්ෂේත්‍ර නිරීක්ෂණ මගින් මෙන් ම විද්‍යාගාරවල ආකෘති ක්‍රියාත්මක කිරීමෙන් ද වටහාගැනීමට උත්සහා කරනු ලබයි. 


කාලය සහ අවකාශය

වෙරළ තීරය පිළිබද හදාරන විට එහි කාලය සහ අවකාශය විවිධ පරාසයන් යටතේ අවධානයට ලක්කළ යුතු වේ. ඉහත ද පැහැදිල කළ ආකාරයට අවකාශය යන්නෙහි ගොඩබිම් සහ මුහුදු සීමාවන් නිර්ණය කිරීම අදාල අවශ්‍යතාවය අනුව තීරණය වන්නකි. දියළු තැන්පතු සමහර අවස්ථාවල ගැඹුරු මුහුදු පතුලේ තැන්පත් වේ. ලවණ ජලයේ බලපෑම ගොඩබිම ශාක වෙත බලපායි. දඹ සහිත වෙරළ තීර කිලෝමීටර සියගණනක් කිසිදු ලාක්ෂනික වෙනසක් රහිතව පැවතිය හැකි අතර වැලි සහිත වෙරළක මීටර කිහිපයක් තුුළ පවා විශාල වෙනස්කම් දැකිය හැකි ය. 

කාලය අනුව ගත්විට භූ විද්‍යාඥයන්ට වසර මිලියන ගණනක ක්‍රියාවලිය වැදගත් වන අතර ඉංජිනේරුවන්ට එක් සෘතුවක වෙරළ වෙනස්වීම් අදාල වේ. පුරාවිද්‍යාඥයන්ට එය මානව සංස්කෘතියේ මුල් වකවානුවල සිට ම සාධක පවතින සහ පැවැතිය හැකි කලාපයකි. චාතුර්ථික සහ එයිනුත් වඩාත් වර්තමාන හොලොසින ක්‍රියාවලීන් මෙනයින් බොහෝ පර්යේෂකයන්ට අදාල වේ. භූූ රූපන හැදෑරිමේදී කාල රාමු තුනක් තුළින් අධ්‍යයනය කළ හැකි බව සැලකේ. 

1. භූ විද්‍යාත්මක කාලය හෙවත් චක්‍රීය කාලය (geological/cyclic time)- දිගු කාලීන වෙනස්කම්

2. අනුක්‍රමික කාලය - Graded time 

3. අඛණ්ඩ කාලය - Steady-state time

නමුත් වඩාත් සංකීර්ණ වූ වෙරළාශ්‍රිත වෙනස්වීම් රටා අධ්‍යයනයට මෙම කාලරාමු ප්‍රමාණවත් නොවන බව 1994 දි කොවෙල් සහ තොම් විසින් යෝජනා කළ අතර ඔවුන්ට අනුව

1. ක්ෂණික වෙනස්වීම් - instantaneous

2. සිද්ධි - event

3. ඓතිහාසික - Historical

4. භු විද්‍යාත්මක - geological

යන කාල රාමු හතර යටතේ එය හැදෑරීම පහසු වේ. රළ බිදෙන ඉමෙහි වැලි තැන්පත්වීම සහ නැවත සේදී යෑම වැනි 'ක්ෂණික වෙනස්වීම්' ක්ෂේත්‍රයේදී අධ්‍යයනය කළ හැකි නමුත් එක් එක් ස්ථානයෙහි මෙම රටා වෙනස් විය හැකිය. එබැවින් වඩාත් සාමාන්‍යකරණය කරන ලද නිගමන ක්ෂණික වෙනස්වීම් සම්බන්ධයෙන් ගොඩනගාගැනීමට සිදුවන අතර දීර්ඝකාලයක් තුළ එවැනි රටා හටගත් ආකාරය හැදෑරීමද අපහසු වේ. සුනාමි, කුණාටු වැනි සංසිද්ධීන් මගින් වෙරළෙහි ඇති කරන වෙනස්කම් 'සිද්ධි' යටතේ හදුනාගත හැකිය. මෙවැනි සිද්ධි ගණනාවක එකතුවකින් අපට 'ඓතිහාසික' වශයෙන් යම් වෙරළක සිදුවූ වෙනස්කම් හදුනාගත හැකිය. වඩාත්තු ම ර්ථික අවධියේ සිදුවූ දීර්ඝකාලීන වෙනස්කම් 'භූ විද්‍යාත්මක' කාලරාමුවට අයත් කළ හැකි ය. මෙම සියල්ල අධ්‍යයනයට ලක්වන අවකාශයේ ප්‍රමාණය අනුව වෙනස්වනු ඇත. 


වෙරළ පද්ධති

Von Bertalanffy විසින් ඉදිරිපත්කරන ලද සාමාන්‍ය පද්ධති න්‍යාය, සංකීර්භ භූ ලක්ෂණ සහ එම ලක්ෂණ සකස් වීමට බලපාන ලද ක්‍රියාවලීන් අතර අන්තර්සම්බන්ධතාවය ගොඩනගාගැනීමට උපයෝගී කරගත හැකිය. ලෝකයේ හදුනාගත හැකි මූලිකාංග (elements) හෙවත් භූථාර්ථ (entities), විචල්‍යයන් (variables) හෙවත් පරාමිතීන් (parameters) හෝ උපලක්ෂණ (attributes) රැසකින් විග්‍රහ කළ හැකි ය. 

පද්ධතියෙන් බාහිරව පවතින සාධක (external factors) ස්වාධීන විචල්‍යයන් ලෙස සැලකේ. බහිර්ජනන (exogenous), බහිර්ජාත (extrinsic or allogenic) යන යෙදුම් ද මේ සදහා භාවිත වේ. මේවා මායිම් භව්‍යත්වයන් (boundary conditions) ලෙසින් ද හැදින්වෙන අතර ඒ ඒවායේ ඇතිවන යම් වෙනසක් පද්ධතිය තුුළ වෙනසක් ඇති කිරීමට පාදක වන බැවිනි. පද්ධතිය තුළ ඇති විචල්‍යයන් පරායත්ත විචල්‍යයන් වන අතර ස්වාධීන විචල්‍යයන්ගේ වෙනස්වීම්වලට අනුකූලව වෙනස් වේ. මායිම් භව්‍යත්වයන්ගේ වෙනසකින් තොරව වුවද පරායත්ත විචල්‍යයන් අතර වෙනස්කම් ඇතිවිය හැකි ය. මෙම අභ්‍යන්තර ගතිකතාවයන් හැදෑරීම වැදගත් වන අතර නොඑසේ නම් යම් වෙනසක් මානව මැදිහත් වීම වැනි බාහිර සාධකයකින් වූයේ බවට වරදවා හදුනාගැනීමේ හැකියාව ද පවතී. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ඇති හොලෝසීන් කවච තැන්පතු අතරින් සමහරක් මානව තැන්පතු ලෙස හදුනාගැනීම දැක්විය හැකි ය. 

පද්ධතියක් ලෙස සලකන්න‌ේ කුමක් ද යන්න අදාල අධ්‍යයනය අනුව වෙනස් වේ. සමස්ථ පෘථිවියම පද්ධතියක් ලෙස ගෙන චාතුර්ථික අවධියේ එහි ග්ලැසියර හා අන්තර් ග්ලැසියර අවධි යන විශේෂිත අවස්ථා දෙක හැදෑරිය හැකි ය. එහිදී පෘථිවියේ භ්‍රමණ - පරිභ්‍රමණ රටාව ස්වායක්ත විචල්‍යයක් වේ. 

එක් පද්ධතියක් තුළ උප පද්ධති ගණනාවක් විය හැකි ය. ගඟ සහ වැලි කඳු එක් පද්ධතියකි. එය පවතින්න‌ේ මුවදොර සහ වෙරළ සහිත පද්ධතියක් තුළය. ජලය ගලා යෑම, ඇළ මාර්ගය සහ මුව දොර ඇති වැලිපරය (shoal) මුවදොරක් ආශ්‍රිත පද්ධතියකි. වෙරළ, රළ බිඳීම, වැලි වැටිය ආදිය වෙරළක පද්ධතියකි. මේ අතර අන්තර්සම්බන්ධතාවයක් වේ. 

අධ්‍යයනයට තෝරාගන්නා අවකාශය අනුව එහි විචල්‍යයන් තීරණය වේ. වැලි පරය හෝ මුවදොර හෝ හුදකලාව ගෙන අධ්‍යයනය කළ හැකි ය. එහිදී ගඟ මගින් ප්‍රවාහනය කරන වැලි ප්‍රමාණය බාහිර විචල්‍යයකි. නමුත් සමස්ථ ගංගා පද්ධතියම හදාරන විට එම වැලි පරිවහනය අභ්‍යන්තර විචල්‍යයක් බවට පත්වේ. එමෙන්ම, පද්ධතියක් විවෘත හා සංවෘත විය හැකි අතර සංවෘත පද්ධතියක ශක්ති හානිය අවම වේ. නමුත් වෙරළ පද්ධතීන් සියල්ල ම අපට විවෘත පද්ධතීන් ලෙස සැලකීමට සිදුවන අතර එහි ජලය, ශක්තිය, අවසාධිත වැනි ඇතුළුවන දෑ සහ පිටවන දෑ ආදිය ආශ්‍රිත ක්‍රියාවලිය ඉතා සංකීර්ණ වේ. 



notes

* The sediments in low sea level during glaciation are termed lowstand system tracts in the terminology of sequence stratigraphy

high sea level sediments are highstand system tracts

* Two distinct morphological states in a wave-dominated beach

   a. Accreted beach

   b. eroded beach


* white-box, grey-box and black box approaches to define the subsystems. 

     - white box - All the components of a sub system are identified

     - black box - no components of sub system are identified 

     - grey box - intermediate of above two




References

Woodroffe, Colin, 2002, Coasts, Cambridge University Press

No comments:

Post a Comment