Friday, July 31, 2020

Culture-historical archaeological approach - සංස්කෘතිමූල-ඓතිහාසික පුරාවිද්‍යා ප්‍රවේශය

සංස්කෘතිමූල-ඓතිහාසික පුරාවිද්‍යා ප්‍රවේශය

තිලංක සිරිවර්ධන, කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විිශ්වවිද්‍යාලය

19 සියවස අග භාගයේ දේශපාලනික සහ සමාජ-ආර්ථික පසුබිම මගින් නගන ලද මූලික ගැටලු ගණනාවක් වෙත පිළිතුරු සැපයීමේ එළඹුමක් වශයෙන් සංස්කෘතිමූල ඓතිහාසික පුරාවිද්‍යාව ඉස්මතු විය. මෙම වකවානුව වන විට ලෝකයේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර ගණනාවකින් ඉතා විශාල වශයෙන් ද්‍රව්‍යාත්මක සාධක අනාවරණය වෙමින් පැවති අතර ඒවා අධ්‍යයනයේදී හුදු තනි පුරාකෘති වශයෙන් නොව ඒවායේ භූගෝලීය ව්‍යාප්තිය දෙස අවධානය යොමු කළ යුතු බවට අදහස් පහළ විය. එබැවින්, සංස්කෘත මූල ඓතිහාසික පුරාවිද්‍යාව යනු සමකාලීන සමාජ අවශ්‍යතාවයන් ඔස්සේ සහ නව පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වල භූගෝලීය ව්‍යාප්තියේ විවිධතාවය කරණ කොට ගෙන ප්‍රභවය වූවක් ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. විශේෂයෙන් ඒ වන විට ප්‍රචලිතව පැවති සංස්කෘතික පරිණාමවාදී අදහස් මගින් පැහැදිලි කළ නොහැකි සාධක රැසක් මේ ඔස්සේ විග්‍රහ කළ හැකි විය. වික්ටෝරියානු සංස්කෘතික පරිණාමවාදී අදහස් මගින් මානව සමාජය සංස්කෘතික මට්ටම් අනුව දැඩි බෙදීමකට ලක් කොට තිබූ අතර යුරෝපීය සංස්කෘතිය එම පරිණාමීය ක්‍රියාවලියේ අග්‍ර ඵලය ලෙස නිර්වචනය කෙරිණි (වැඩි විස්තර සඳහා එඞ්වඞ් ටයිල්ර් ආදීන්ගේ අදහස් පරිශීලනය කරන්න).

19 සියවස අගභාගය වන විට කාර්මික විප්ලවයේ සැබෑ ප්‍රතිඵල පිළිබඳ ඇති වූ විචාර, ආර්ථික අස්ථාවරත්වය සහ අර්බුධ, එවකට පැවති සමාජ ක්‍රමයට එරෙහිව වැඩකරන පංතියේ නැගී සිටීම, රටවල් අතර උද්ගත වූ ගැටලු ආදිවූ සමාජ-ආර්ථික හා දේශපාලනික තත්ත්වය, සමකාලීන පුරාවිද්‍යාඥයන් විසින් පිළිගෙන තිබූ සංවර්ධනය නිතරම මානවයාගේ උන්නතියටම හේතු වේ යන අදහස වෙනස් කර ගැනීමට බලකරන ලදී. තාක්ෂණික දියුණුවේ පවතිනුයේ ධනාත්මක ප්‍රතිඵල පමණි යන දැඩි විශ්වාසය මෙයින් අත්හැර දැමීමකට ලක්විය. මෙයින් මානව නිර්මාණශීලීත්වයට සීමාවන් පවතින බවත් තමන් ජීවත්වන රටාවට සිදුවන ක්ෂණික වෙනස්කම් වලට ප්‍රතිරෝධීව හැසිරීමට මානවයා උත්සහා කරන බවටත් අදහස් ඇති විය.

මේ වන විට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් නිරීක්ෂණය කොට තිබූ සමාන සංස්කෘතික ලක්ෂණ සම්බන්ධයෙන් පැවතියේ ස්වාධීන සංවර්ධන න්‍යාය හෙවත් එකිනෙකින් ස්වාධීනව පවතින මානව සමාජ අතර සමජාතීය සංස්කෘතික ලක්ෂණ ඇතිවිය හැකි බවට වූ අදහසකි. නව ප්‍රවණතාවයේ පුරෝගාමීන් විසින් මෙම අදහස බැහැර කරන ලද අතර එයට විකල්ප ලෙස මානව සංහතියේ සෑම නව්‍යාජනනයක් සහ නවෝත්පාදනයක් ම එක්වරක් පමණක් සොයාගනු ලැබ අනතුරුව එම සංස්කෘතියේ විසරණය හෝ සංක්‍රමණය මගින් වෙනත් සංස්කෘතීන්ට එම දැනුම ප්‍රේෂණය වූයේ ය යන සංකල්පය ඉදිරිපත් විය. එනම්, වෙනත් සංස්කෘතියක් හෝ මානව කණ්ඩායම් සමාන උත්පාදනයක් කිරීමේ හැකියාවක් අත්පත් නොකරගන්නා බවය. තවද, බාහිර බලපෑමකින් තොරව සංස්කෘතියක් වෙනස් නොවන බවට අදහස් ඉදිරිපත් කරමින් සංස්කෘතියක් එය තුළින් ම කාලානුක්‍රමිකව වෙනස් වීමට ඇති හැකියාව පිළිබඳ අදහස ද බැහැර කරන ලදී. මෙම සංස්කෘතියේ විසරණ සහ සංක්‍රමණ න්‍යාය (Diffusion and migration of cultures theory) මගින් වඩාත් සංකීර්ණ වූවන් විසින් සරල වූවන්ව සමාජයෙන් ඉවත් කර දමනු ලබන බවට අදහසක් ගොඩනගන ලද අතර එයින් එතෙක් පිළිගත් සංස්කෘතික අවධීන්ගේ අනුක්‍රමය පිළිබඳ න්‍යාය (succession of cultural stages theory)  මුලුමනින් ම බැහැර කරන ලදී.

මෙම නව අදහස් මාලාව වෙසෙසින් ම එවකට වර්ධනය වෙමින් පැවති ජාතිකවාදීන්ගේ සංකල්ප හා මැනැවින් සංකලන වූ අතර ජාතික සහ වාර්ගික අනන්‍යතාවය සෙවීම පුරාවිද්‍යාවේ හරය ලෙසින් සැලකීමට ලක්විය. වෙනත් ලෙසකින් කිවහොත්, 19 සියවස අගභාගයේ කරලියට පැමිණෙමින් තිබූ ජාතිකවාදීන්ගේ න්‍යායපත්‍රය මගින් රටවල් අතර බලවතුන් ලෙස මතුවීමේ තරගයට ඓතිහාසික මුහුණුවරක් දීම සඳහා අතීතය විග්‍රහ කිරීමට සහ සම්බන්ධ කිරීමට පුරාවිද්‍යාඥයන්ව කුලුගන්වන ලදී. තම පැරැණ්නන් ජීවත් වූ සෞභාග්‍යමත් සහ උසස් තත්ත්වය ප්‍රවර්ධනය කොට දැක්වීමත් මෙම තොරතුරු තමන්ගේ ම ජාතියේ ප්‍රයෝජනය සඳහා යොදාගැනීමටත් පුරාවිද්‍යාඥයන් යොමුවූයේ එබැවිනි. මෙම අරමුණු පෙරදැරි පුරාවිද්‍යා ප්‍රවේශයත්, පැරණි සංස්කෘතිය පිළිබඳ සාධක ජාතිකවාදී න්‍යායපත්‍රයක් තුළින් තම ජාතියේ උත්තරීත්වය නිරූපනය කිරීමට භාවිත කිරීමත් මගින් වර්ගවාදී අදහස් වඩාත් පෝෂණය කරනු ලැබූ අතර එය ජාතික රාජ්‍ය සංකල්පයට මැනැවින් සේවය කරන ලදී. එක් ජාතියකට අයත් සියලුම සමාජ පංතීන් එමගින් එකට එක්කරලනු ලැබූ අතර පුරාවිද්‍යාත්මක සාධක මගින් එම උසස් බව අතීතය පුරාවට පැවති බව තහවුරු කිරීමට තොරතුරු සපයන ලදී. මෙයින් ඇතිකරන ලද වර්ගවාදී අදහස් බාහිර සමාජයන්ට එරෙහිව නැගී සිටීමට සාධාරණ පසුබිමක් ඇති කළේය. එයින් ම සංස්කෘතින්ගේ ඇති ආවේණික ලක්ෂණ ද මතුකරන ලදී. යුරෝපය තුළ පළමුවන ලෝක යුද්ධයට මාර්ගය ඇති කරන ලද්දේ ද මෙම පසුබිම මගිනි.

මෙවකට පුරාවිද්‍යාඥයන් දැනුවත්ව හෝ නොදැනුවත් ව සමකාලීන සමාජ -දේශපාලන න්‍යාය පත්‍රය තුළ ක්‍රියාත්මක වූහ. ස්වීඩන පුරාවිද්‍යාඥ ඔස්කා(ර්) මොන්ටේලියස් (1843-1921) විසින්  පුරාකෘතීන්ගේ ඇති විශේෂිත ආවේණික ලක්ෂණ පිළිබඳ දැඩි වශයෙන් අවධානයට ලක්කළ අතර සමස්ථ යුරෝපයේ ම පුරාකෘති සඳහා ස්කැන්ඩිනේවියානු කාලානුක්‍රමාවලිය ආදේශකරන ලදී. සමකාලීනව සමාන සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ විවිධ ප්‍රදේශවල නොපැවතුණු බවට ඔහු නිගමනයකට එළඹුණු අතර යුරෝපයේ සංවර්ධිත සංස්කෘතියට පාදක වූයේ යුරෝපයේ බිහිවූ සංස්කෘතික ප්‍රවාහයක් විය නොහැකි බවට ද අදහසක් ඉදිරිපත් කරන ලදී. යුරෝපීය සංස්කෘතියේ මූල බීජ මැද පෙරදිග බිහිවී යුරෝපය දෙසට විසරණය වූ බවට ඔහු ගෙන ආ තර්කය සමකාලීන වෙනත් පුරාවිද්‍යාඥයන් විසින් බැහැර කළද කෙටි කළකට පසු සංස්කෘතමූල ඓතිහාසිකවාදී ප්‍රවේෂය බිහිවීමට එම අදහස් දැඩිව බලපාන ලදී.

මෙම ආවේණික ලක්ෂණ හෙවත් සහචාරී බව වඩාත් හොඳින් හඳුනාගැනීමට පහසුම ආකාරය වනුයේ ද්‍රව්‍යාත්මක සංස්කෘතිය අධ්‍යයනය කිරීමයි. එබැවින් පුරාවිද්‍යාඥයන් විවිධ භූගෝලීය කලාප වලින් හමුවන පුරාකෘති හඳුනාගැනීම සහ වර්ගීකරණය කරමින් ඒවා ඔස්සේ සමකාලීන සංස්කෘතීන් අතර සමානතාවයන් ගොඩනැගීමට උත්සහා කරන ලදී. එයින් අදාල වාර්ගික කණ්ඩායම්වල හා සංස්කෘතීන්ගේ අඛණ්ඩතාවය තහවුරු කිරීමේ ප්‍රයත්නයක් දරන ලදී. මෙසේ තමන්ගේ සංස්කෘතියේ අධිපතීත්වය අතීතය පුරා පැවති ආකාරයත් එයින් වර්තමාන තරගකාරී වෙනත් සංස්කෘතීන් අභිබවා තම සංස්කෘතියේ උසස් භාවය නිරූපනය කිරීමත් අපේක්ෂා කෙරිණි. ජාතිකවාදී විඥානය උද්දීපනය කිරීමට මෙම පර්යේෂණ ඉතා ඉවහල් වූ අතර ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ආකල්ප ක්‍රමයෙන් වර්ගවාදී සංකල්ප ඇතිවීමට දායක විය.

මෙවන් පසුබිමක් පුරාවිද්‍යා විෂය තුළ ගොඩනැගෙමින් පවතින අතරතුර ගුස්ටාෆ් කොසින්නා විසින් ජර්මනියේ සංස්කෘතමූල පුරාවිද්‍යා ප්‍රවේෂයක් සඳහා මූලික අඩිතාලමක් ඇති කලේය. පුරවිද්‍යාව යනු සියලු විද්‍යාවන් අතරින් වඩාත් ජාතිකවාදී ශික්ෂණය ලෙසින් ද ඔහු හැඳින්වීය. මධ්‍ය යුරෝපයේ පුරාවිද්‍යා වාර්තාව මධ්‍ය ශිලා යුගයේ සිට විවිධ සංස්කෘතීන්ගේ එකතුවක් ලෙසින් හැඩ ගැසී තිබූ බවත් විවිධ ප්‍රදේශ සහ කාලවලදී එය වෙනස්කම් වලට ලක් වූ බවත් කොසින්නාගේ අදහස විය. සංස්කෘතියේ ලක්ෂණ ජනවර්ග තුළින් දැකගත හැකි බවත් ද්‍රව්‍යාත්මක සංස්කෘතිය සෘජුවම ජනවර්ගය හා සම්බන්ධ බවත් ඔහු පළ කළ අදහසකි. වෙනත් ලෙසකින් කිවහොත් සමාන ජනවර්ග සමාන ද්‍රව්‍යාත්මක සංස්කෘතීන් බිහිකරන බව සහ එයට හේතුව ඔවුන්ගේ සංස්කෘතිය ද සමාන වීමයි. එබැවින් සමාන ද්‍රව්‍යාත්මක සංස්කෘතීන්ගේ භූ ගොලීය ව්‍යාප්තිය හැදැරීම තුළින් ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා යමින් යම් ජනවර්ගයක මූලය සහ අඛණ්ඩ පැවැත්ම විග්‍රහ කළ හැකි ය. සංස්කෘතිය සහ වාර්ගිකත්වය අතර සමබන්ධතාව හැදැරීමේදී සංස්කෘතියේ හා වාර්ගිකත්වයේ ඇති වෙනස්කම් සාධකයක් ලෙස ගනිමින් මානව චර්යාව තීරණය වීමට වාර්ගික ලක්ෂණ දැඩිව බලපාන බවට කොසින්නා තර්ක කරන ලදී. මානව නිර්මාණශීලීත්වය ස්වභාවිකව ම එතරම් පුරෝගාමී නොවු බව සහ බාහිර බලපෑමකින් තොරව සංස්කෘතියක් වෙනස් නොවන්නේය යන අදහස් පාදක කරගනිමින් සංස්කෘතිකව අකර්මණ්‍ය වූ හා සංස්කෘතිකව ක්‍රියාකාරී වූ  ප්‍රජාවන් හඳුනාගත හැකි බවට විග්‍රහ කෙරිණි. ජෛව විද්‍යාත්මකව උසස් භාවය සහ සංස්කෘතිකව දියුණුභාවය යන සංකල්ප මේ හා සමග එක්ව ගනිමින් සංස්කෘතිය යනු එක් කලාපයකින් තවත් කලාපයකට සංක්‍රමණය වූවක් ලෙස විස්තර විය. විසරණය යන සංකල්පය කොසින්නා විසින් බැහැර කරන ලදී. ජෛව ලක්ෂණ සහ සංස්කෘතික අතින් පහළ වාර්ගිකයන්ට වඩාත් උසස් සංස්කෘතික ලක්ෂණ අවශෝෂණය කරගැනීමට හෝ දරාගැනීමට හැකියාවක් නොමැති බවත් වඩාත් උසස් සංස්කෘතීන්ගේ සංක්‍රමණ හමුවේ එවැනි සංස්කෘතීන් කඩාවැටීමට සහ වඳවී යෑමට ලක්වන බවත් තවදුරටත් පැහැදිලි කෙරිණි.

කොසින්නාගේ පැහැදිලි කිරීම අනුව වර්තමාන ජර්මනිය සමස්ත ඉන්දු - යුරෝපීය ශිෂ්ටාචාරයේ උත්පත්තිස්ථානය වූ අතර එය ක්‍රමයෙන් දකුණු දිගට සංක්‍රමණය විය. නමුත් මෙම උසස් සංස්කෘතිය සංක්‍රමණය වීමේදී පහළ සංස්කෘතීන් සමග මිශ්‍ර වූ අතර එයින් මුල් සංස්කෘතියේ පැවැති නිර්මාණශීලීත්වය එම සංක්‍රමණික ප්‍රජාවන් අතරින් ගිලිහි ගියේය. ජර්මානුවන් තම මුල් උත්පත්ති ප්‍රදේශයෙන් එසේ සංක්‍රමණය නුවූ බැවින් සියලු වාර්ගිකයන් අතරින් වඩාත් පාරිශුද්ධ ලෙසින් ශේෂ විය. මෙම වර්ගවාදී ප්‍රවේෂයෙන් භූමියට ඇති ඓතිහාසික අයිතිය අවධාරණය කිරීමත් යම් ප්‍රදේශයකින් ජර්මානු පුරාකෘති යැයි කිව හැකි සාධක හමුවුවහොත් එම ප්‍රදේශය ජර්මනියට අයත් හෝ අයත් කරගත හැකි හෝ බව දක්වමින් කොසින්නා විසින් පුරාවිද්‍යාව හසුරුවන ලදී. මෙම ප්‍රමාණය ඉක්මවා ගිය පුරාවිද්‍යාත්මක ප්‍රවේශය හැරුණු කොට කොසින්නාගේ අදහස් සංස්කෘතමූල ඓතිහාසික පුරාවිද්‍යාව මතුවීමට කෙරෙහි ඉතා විශාල බලපෑමක් එල්ල කරන ලදී.

20 සියවස ආරම්භක වකවානුවේදී ගෝඩන් චයිල්ඞ් (Gordon Childe) විසින් මෙම පුරාවිද්‍යාඥයන් දෙදෙනාගේ අදහස් සංකලනය කරමින් නවමු ප්‍රවේශයක් හඳුන්වා දෙන ලදී. ඔහු විසින් මොන්ටේලියස්ගේ කාලානුක්‍රමාවලීගත පුරාකෘති හැදැරීමේ සංකල්පය සහ මැදපෙරදිග සංස්කෘතික වර්ධනයේ ආරම්භක කලාපය බවට ඉදිරිපත් කළ අදහස ද කොසින්නා විසින් ඉදිරිපත් කළ පුරණා සංස්කෘතීන් හඳුනාගැනීම සහ ඒවා වර්තමාන සංස්කෘතීන්ගෙන් නිරූපනය වන ආකාරය පිළිබඳ අදහසද සංකලනය කරන ලදී. මෙනයින් විවිධ ප්‍රවේෂයන් සහ ප්‍රතිඵල සංකලනය කරමින් කතිකාවක් ගොඩනැගූ ප්‍රථම පුරාවිද්‍යාඥයා බවට ද ගෝඩන් චයිල්ඞ් පත්විය. එක් එක් සංස්කෘතිය එහි ද්‍රව්‍යාත්මක සංස්කෘතිය දෙස බලමින් වෙන් වෙන් වශයෙන් ගෙන අධ්‍යයන කළ යුතු බව ද එම සංස්කෘතීන් උත්පාදනය කළ වැදගත් පුරාකෘතීන් සහ ද්‍රව්‍යාත්මක සංස්කෘතිය පුරාවිද්‍යාඥයා විසින් පූර්වනිශ්චය කල කාල වකවානු වලට බෙදීම කළ නොහැක්කක් බවත් ඔහු විසින් ගෙන ආ එක් තර්කයක් විය. ද්‍රව්‍යාත්මක සං්කෘතිය හුදු ඒවායේ භූගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව හැදැරීමට වඩා ස්ථාරායනය, ශ්‍රේණිගත කිරීම සහ සමකාලිකතාව මත කාලානුක්‍රමාවලිය ගොඩනැගිය යුතුය. පුරාකෘති නිවැරදිව හඳුනාගත හැක්කේ ප්‍රාග් ඓතිහාසික සමාජවල ඒවායේ භාවිතය සහ භූමිකාව මත පමණක් බවද ඔහු යෝජනා කලේය. මැටිබඳුන්, ආභරණ, සුසාන වස්තූන් ආදිය වඩාත් ප්‍රාදේශීය රුචිකත්වයන් නියෝජනය කරන බවට නම් කල ඔහු ඒවා කාලානුක්‍රමිකව වෙනස්වීමේ දැඩි නැමියාවක් රහිත බව අවධාරණය කළේය. එබැවින් ඒවා එකිනෙකට වෙනස් වාර්ගික කණ්ඩායම් හඳුනාගැනීමට උපයෝගී කරගත හැකිය. එයට ප්‍රතිවිරුද්ධ ලෙස තාක්ෂණය උපයෝගී වන අංග වන උපකරණ සහ ආයුධ වැනි දැ ප්‍රායෝගික අගයයක් පවතින හෙයින් ඉතා කෙටි කාලවකවානු තුළදී වෙනස් වීමේ නැමියාවක් පෙන්වන අතර වෙළඳාම වැනි බාහිර බලපෑම් ඒ සඳහා උත්තේජක සපයයි. එබැවින් එවැනි පුරාකෘතීන් එකිනෙක අතර සම්බන්ධතා පැවැත්වූ සමකාලීන සංස්කෘතීන් හඳුනාගැනීමට සහ සංස්කෘතික කාලානුක්‍රමාවලියක් ගොඩනගා ගැනීමට ඉතා උචිත සාධකයක් වේ. මෙය කාබන් කාලනිර්ණ ක්‍රමය සොයාගැනීමට පෙර ඉතා වැදගත් වූ අදහසක් විය. මෙම අදහස මගින් මැදපෙරදිග සිට යුරෝපයට ද්‍රව්‍යාත්මක සංස්කෘතිය විසරණය වීම පිළිබඳ අදහස වඩාත් ශක්තිමත් කරන ලදී. මේ වන විට පැවති අදහස් අනුව ද්‍රව්‍යාත්මක සංස්කෘතිය හඳුනාගැනීමෙන් අදාල සංස්කෘතිය හඳුනාගැනීමට ප්‍රයත්න දරා තිබුන ද එම සංස්කෘතියට අයත් ප්‍රජාවගේ ජීවන රටා පිළිබඳව අදහස් නොවීය. ප්‍රාග් ඓතිහාසික ජන සමාජ සම්බන්ධයෙන් එවැනි ජීවන රටා ප්‍රතිනිර්මාණය කිරීමට ද චයිල්ඞ් විසින් යම් උත්සහායක් දරන ලදී. ඔහු විසින් සිදුකරන ලද අධ්‍යයන වලදී යම් පුරාකෘති සමුච්චයක හෝ සංස්කෘතියක නිරික්ෂණය වන වෙනසක් කාර්යමය ලෙස ප්‍රයෝජ්‍යවත් හෝ කලාත්මක නම් එය සංස්කෘතික විසරණය යටතේ ද, පැරණි සංස්කෘතියක් සහමුලින් ම වෙනස් කරනු ලැබ ඇති විටක සංක්‍රමණ උපන්‍යාසය මගින් ද පැහැදිලි කරනු ලැබූ අතර සංස්කෘතික අඛණ්ඩතාවය වාර්ගික අඛණ්ඩතාවයේ නිර්ණායකයක් ලෙස සලකනු ලැබිණි.

සමස්ථයක් ලෙස ගත්කළ සංස්කෘතමූල ඓතිහාසික ප්‍රවේෂය තුළදී හුදු ද්‍රව්‍යාත්මක සංස්කෘතිය නිරීක්ෂණයෙන් පැරණි සංස්කෘතීන් හඳුනාගැනීමත් වර්තමාන සංස්කෘතීන් තුළින් එම පැරණි සංස්කෘතින් නිරූපනය වන ආකාරය හඳුනාගැනීමත්, නූතන සංස්කෘතීන්ගේ ආරම්භය, ව්‍යාප්තිය සහ අන්තර් සබඳතා හඳුනාගැනීමටත් උත්සහා දැරීමක් විය.  ද්‍රව්‍යාත්මක සංස්කෘතිය සංස්කෘතික වර්ධනයේ අවධි තේරුම් ගැනීමේ මාර්ගයක් වශයෙන් භාවිත කිරීමේ පසුකාලීන ප්‍රවණතාවය එහි දක්නට නොවීය. වඩාත් පැහැදිලි වන කරුණ නම් සංස්කෘතිමූල ඓතිහාසික පුරාවිද්‍යාව වත්මන් සංස්කෘතීන්ගේ මූලය සෙවීම සඳහා අතීත සංස්කෘතීන්ගේ සාම්‍යත්වයන් සෙවීමට උත්සහා කිරීමත් එමගින් වර්තමාන සංස්කෘතීන් අතර පවතින වෙනස්කම් අවධාරණය කිරීමටත් දරන ලද උත්සහායයි. වර්තමානයේ පුරාවිද්‍යාව වඩාත් ශාස්ත්‍රීය වශයනේ වර්ධනය වී තිබුන ද මෙවැනි මුල් කාලීන මතවාදයන්ද ව්‍යාවහාරය වනු හදුනාගත හැකිය.